ගෙවත්තේ එළවලු වගාව සාර්ථකව කරගන්න ක්‍රම කීපයක්

ගෙවත්තේ එළවලු වගාව සාර්ථකව කරගන්න ක්‍රම කීපයක්

    ශ්‍රී ලංකාව අතීතයේ ඉදලම කෘෂිකර්මාන්තයෙන් යැපුණු රටක්. ඉස්සර කොයි ගෙදර වුණත් එදිනෙදා කෑමට අවශ්‍යය කරන බොහෝ දේවල් පැළ කරලා තිබුණා. කෙසේ වුවත් මෑත කාලයේ ඇති වුණ පාරිභෝගික ආර්ථික ක්‍රමය නිසා අපේ රටේ මිනිස්සු පුළුවන් තරම් සල්ලි හොයලා කන බොන දේවල් කඩෙන් ගන්න ක්‍රමේට තමයි හුරුවීම සිද්ධ වුණේ. නමුත් මෑත කාලීනව වූ සිදුවීම් සමඟ මිනිසුන් නැවතත් භෝග වගාව කෙරෙහි යොමු වී තිබෙනවා. මෙම කරුණු වලින් ගෙන එන්නේ එම බෝග වගාව තවත් සාර්ථකව කරගත හැකි ක්‍රම කීපයක් ගැනයි.

01. ගෙදරට ගේන එළවලු වලින් ආරම්භයක් ගන්න.

          සාමාන්‍යයෙන් ගෙදර අවශ්‍යතා බොහෝ දුරට සපුරා ගන්න හිතාගෙන එළවලු හදනවා නම් පැළ වර්ග හෝ ඇට මිළදී ගන්න එක තමයි සුදුසුම දේ. කෙසේ නමුත් ඉදලා හිටලා ආහාරයට ගන්න එළවලු වර්ග හෝ මිරිස්, එසේ නැත්නම් තක්කාලි වගේ සුළු ප්‍රමාණයෙන් අවශ්‍යය වෙන එළවලු වර්ගත් හදා ගන්නවා නම් ඒ වෙනුවෙන්ම පැළ හෝ ඇට ලැබෙන තුරු ඉන්න අවශ්‍යය නෑ. එදිනෙදා කෑමට ගේන එළවලු වර්ග වලින් වුවත් ඔබට මේ ගෙවතු වගාව ආරම්භ කරන්න පුළුවන්. ඇත්තටම අපි කෑමට ගේන එළවලු වර්ග වලින් පැළ කරන්න බැරි වෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක් විතරයි. ඇට තිබෙන හැම එළවලුවක්ම බොහොම ලේසියෙන් පැළ කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ලීක්ස්, ලූණු වගේ දේවල් වල කපා ඉවත් කරන මුල් කොටස පැළ කරන්න යොදා ගන්න පුළුවන්. සුදු ලූණුද, එයින් බික් කීපයක් පස් වලට යට කරලා තිබ්බොත් ඔබට මාසෙකින්, දෙකකින් නැත්නම් තුනකින් ඔබට සුදුලූණු ලබාගන්නත් හැකියාව තිබෙනවා. එමෙන්ම සළාද කොළ කැබැල්ලක් පස් වල ඇනලා තිබ්බාම සති කීපයක් ඇතුලත අලුතින් සළාද කොළ ලබාගන්න ඔබට පුළුවන් වේවි. බතල අලයක් දෙකට කපලා අර්ධ වශයෙන් වතුරේ බහා තිබ්බාම එයින් මොටයි හට ගන්නවා. එයින් මොටයි සහිත බතල කොටස් වෙන් කර පැළ කරහම ඔබට පහසුවෙන්ම බතල වගාවක් සකස් කරගන්නත් පුලුවන්.

02. කොළ එළවලු වලින් ආරම්භ කරන්න.

          අපි එළවලු ආහාරයට ගන්න එකෙන් ලැබෙන ප්‍රධානම ප්‍රයෝජනයක් තමයි ආහාරමය තන්තු, එහෙම නැත්නම් ෆයිබර් සිරුරට ලබා ගන්න එක. ඕනෑම ශාකයක තන්තු වැඩිම ප්‍රමාණයක් අඩංගු වන්නේ පත්‍ර තුලයි. මේ නිසා ශාක පත්‍ර විදියට ආහාරයට ගන්න එළවලු වර්ග වන ලීක්ස්, සළාද, ලූණු කොළ, ගෝවා වගේ එළවලු වර්ග වල ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු වෙනවා. වෙනත් එළවලු වර්ග වල වගේ මේවායේ අල හෝ ගෙඩි වල ආහාර තැන්පත් වීමක් සිද්ධ වෙන්න අවශ්‍ය නෑ. එනිසා කොළ එළවලු වර්ග ඕනෑම එකක් අලෙවිකරණ ප්‍රමාණෙට එන්න බොහෝ කලින් උනත් ආහාරයට ගන්න පුළුවන්. එනිසා එළවලු වර්ග ගැන වැඩි දැනුමක් නැති උනත් මේ එළවලු වර්ග වලින් වගාව පටන් ගන්නකොට ඔබට වරදින්න තියෙන ඉඩකඩත් බොහෝ අඩුයි. සාපේක්ෂව කෘමි උවදුර ඇතුළු වෙනත් ලෙඩ රෝග හැදෙන එකත් අවම නිසා බෙහෙත් ගැහුවේ නැතත් හොඳ ඵලදාවක් ඔබට ලැබෙයි. ඒ වගේම තමයි කොළ එළවලු වර්ග බොහොමයක් සති දෙකතුනක් ඇතුළත ආහාරයට ගන්න පුළුවන් විදිහට වර්ධනය වෙනවා.





03. ආහාර සෝදන වතුර භාවිතයට ගන්න.

          එළවලු වගා කරනකොට පස්වල පෝෂක නිසි පරිදි නැති නම් පොහොර යොදන එක ඉතාම අත්‍යවශ්‍යය වෙනවා. මේ සඳහා ගෙදරින් ඉවත් කරන දිරණ දේවල් එකතු කරලා කොම්පෝස්ට් වගේ පොහොරක් ඔබට හදා ගන්න කැමති නම් ඒක වැඩිය වාසි සහගතයි. නමුත් ඔබ ගෙදර විවිධ දේ හෝදන වතුර භාවිත කරනවනම් පස්වල සාරවත් බව පහසුවෙන්ම වැඩි කරගන්න ඔබට පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් හාල්, පරිප්පු, හාල්මැස්සන් වගේ දේවල් හෝදන වතුර ටික, කෑම කාලා අත හෝදන වතුර ටික නිකම්ම අපතේ නොහැර එළවළු වගාවට යොදන්න පුළුවන් නම් එයින් පෝෂක රැසක් පසට එකතු වෙනවා. මීට අමතරව කඩල, මුං ඇට, බතල, බඩඉරිඟු වගේ දේවල් තම්බන වතුරෙත් පෝෂක රාශියක් අඩංගුයි. ඒ වගේම ආහාර පිසිනකොට එළවලුවල ඉවත් කරන කොටසේ උනත් විශේෂයෙන්ම නයිට්‍රජන් සංයෝග, පොස්පරස් ඇතුළුව පසක සාරවත් බවට වැදගත් වන පෝෂක රැසක් අන්තර්ගත වෙන්න පුළුවන්.









04. ජෛව පාලනය පාවිච්චි කරන්න.

          එළවළු වගාවක් කරනකොට කෘමි සතුන්ගෙන් උවදුරු ඇතිවීම ඉතාම ස්වාභාවිකයි. මේ නිසා අකමැත්තෙන් උනත් වගාව බේරගන්න බෙහෙත් පාවිච්චි කරන්න වෙන අවස්ථා එමටයි. කෙසේ වෙතත් එළවළු වගාම ආරම්භයේ සිටම ස්වාභාවිකව ඒ සතුන් පාලනය වෙන්න ඉඩදීමෙන් එය අවම කරගන්නට පුළුවන්. මේ විදියට ජෛව පාලනය කරන එකෙන් කෘමිනාශක භාවිතය අඩු කරගන්න පුළුවන් වගේම සමහර අවස්ථා වලදී එය ඵලදායීතාවය ඉහළ නංවා ගන්නත් උදවු වෙනවා. ජෛව පාලනය කිවුවම ගොඩ දෙනෙක් හිතන්නේ එය මහා බරපතළ කාරණාවක් කියලා. නමුත් ඒක සරළ දේවල් වලින් උනත් බොහොම සාර්ථකව කරන්න පුළුවන්. දිනපතා කුරුල්ලන්ට කෑම කන්න තැනක් සකස් කිරීම, මැටි බඳුනක් යොදාගෙන කුරුළු කූඩුවක් සකස් කිරීම, ගෙවත්තේ පොකුණක් ඉදි කිරීම වගේ බොහොම පුන්චි දේකින් උනත් කුරුළු වර්ග, බත්කූරන් ඇතුළු සතුන් ඔබේ ගෙවත්තට ආකර්ෂණය වෙලා කෘමි සතුන් පාලනයට ලොකු දායකත්වයක් ලබා දෙනවා.










05. පෝච්චි වෙනුවට කෙසෙල් කොටන් පාවිච්චි කරන්න.

          ගොඩක් දෙනෙක් මිරිස්, තක්කාලි, බටු වගේ කුඩා ප්‍රමාණයේ එළවළු වර්ග පෝච්චි වල වගා කරන්නේ ඉඩකඩ අඩුකම, එහෙම නැත්නම් වත්තේ සුදුසු ස්ථානයක් නැති වීම වගේ හේතු නිසා. නමුත් පෝච්චියේ වගා කරද්දි මැටි හෝ මැටි හෝ සිමෙන්ති වලින් පසට කිසිවක් නොලැබෙන නිසා රසායනික පොහොර නොදමා හොඳ ඵලදාවක් ලබාගන්න අපහසුයි. ඉතින් මේ වගේ අවස්ථාවක භාවිතයට ගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි කෙසෙල් කඳන් වල එළවළු වගා කරන එක. අවශ්‍යතාවය අනුව පැතලිව වගේම හරස් අතටත් කෙසෙල් කඳන් භාවිතයට ගන්න පුළුවන්. විශාල කෙසෙල් කොටයක පිහියක් ආධාරයෙන් අවශ්‍යය ප්‍රමාණයට සිදුරු කරලා පස් පුරවගෙන මෙය සකස් කරනවා. අඩු ඉඩකඩකදී එළවළු ඇට තවාන් දා ගන්නත් මේක ඉතාම හොඳ ක්‍රමයක්. කෙසෙල් කඳට පරිසරයේ තෙතමනය උරාගෙන එය නිසි පරිදි පස් වලට ලබා දෙන්න හැකියාව තිබෙන නිසා වියළි කාලයකදී උනත් හොඳින්ම එළවළු වගා කරන්න මේක උපකාරී වෙනවා. කෙසෙල් කඳ සෙමෙන් දිරා යාමෙන් පස් වලට පෝෂණය එකතු කරන නිසා පොහොර නොදමා උනත් සරුවට එළවළු වගා කරන්න මේ ක්‍රමයෙන් පුළුවන්.

06. මල් වගාවත් අමතක කරන්න එපා.

          ලස්සනට තියෙන මල් වලට වඩා කන්න බොන්න දෙයක් වගා කරගන්න එක හොඳයි කියල තමා බොහෝ දෙනෙක් හිතන්නේ. හැබැයි එහෙමයි කියලා ඔබ මල් වගා කරන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න අවශ්‍යය නෑ. තනිකරම එළවළු වගාවක් තියෙනවාට වඩා මල් වර්ගත් ඔබේ ගෙවත්තේ තියෙන එකෙන් එළවළු ඵලදාව වැඩි කරගන්න පුළුවන්. සමහරවිට ඔබ දන්නෙ නැතුව ඇති, මල් වත්තට එන මී මැස්සන්, සමනලුන්, පැණි කුරුල්ලන් වගේ හිතකර සතුන්ගෙන් පරාගණය හොඳින් සිදුවන නිසා ඔබේ එළවළු වගාවටත් ලැබෙන ප්‍රයෝජන රාශියක් තිබෙනවා. මීට අමතරව දහස් පෙතියා, පෙටෝනියා වගේ මල් වර්ග වලින් වගාවන්ට හානි කරන පැළ මැක්කන් වර්ග, කූඩිත්තන් වර්ග ඇතුළු අහිතකර කෘමීන් රාශියක් විකර්ශණය කරනවා. එළවළු වගාව අවට තැන් තැන්වල මේ මල් වර්ග වගා කල විට ඔබේ එළවළු වර්ග වලට වැළදෙන්න තියෙන උවදුරු රාශියකිනුත් ඒ එළවළු බේරගන්න පුළුවන්.







07. ධරණීය බව ගැනත් සිතන්න.

          අපේ රටේ ගොඩක් අයගේ පුරුද්දක් තමයි, අවශ්‍යයතාවක් ආවහම උනන්දුවෙන් ඒ වෙනුවෙන් කැප වෙලා පස්සේ ඒ ගැන අමතක කරන එක. මෙන්න මේ නිසා දැන් පටන්ගන්න වගා කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්න අවශ්‍යය බව නිතරම මතකයේ තබා ගන්න. ඔබ සාමාන්‍යයෙන් කාර්යබහුලව සිටින කෙනෙක්නම් ඒ කටයුතු අතරෙ උනත් කරගෙන යන්න පුලුවන් ප්‍රමාණයකින් ඔබේ වත්ත පවත්වාගෙන යන්න සැළකිලිමත් වෙන්න. මොකද මුලින් පටන්ගෙන පස්සෙ මේක අතෑරලා දානවා නම් ඒකෙන් ඔබටවත් රටටවත් කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි ඔබේ ගෙවත්තෙන් ලබා ගන්න එළවළු වලින් උනත් යම් ප්‍රමාණයක් ඉදිරි ප්‍රයෝජනය සඳහා පවත්වාගන්න වගබලා ගන්න. එනිසා ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගන්නෙ නැතිව කොටසක් නැවත වගා කිරීමටත් ඉතිරි කරගන්න. සමහර එළවළු වර්ග අස්වැන්න නොගෙන දිගටම තිබෙන්න හැරියාම ඇට ලබාගන්නත් ඔබට පුළුවන්.

 





Post a Comment

0 Comments