කාන්තාවන් මහත් වෙන්න හේතු කීපයක්

කාන්තාවන් මහත් වෙන්න හේතු කීපයක්

          ලෝකේ ජීවත්වෙන හැම සතෙක්ම ජීවත් වෙන්න අවශ්‍ය ආහාර සොයා ගන්න ව්ශාල වෙහෙසක් දරන්න, අවධානමක් ගන්න අවශ්‍යයයි. ශාක භක්ෂකයෙක් නම් විලෝපිකයන්ගෙන් එල්ල වෙන තර්ජන නිසා නිතරම මර බියෙන් ඉන්න සිදු වෙනවා. විලෝපිකයන්ට ආහාර සොයා ගැනීම සඳහා විශාල දුරක් ගොදුරු පන්නාගෙන යන්න වගේම ගොදුරු මඟහැරුනොත් දින ගණන් බඩගින්නේ ඉන්නත් සිද්ධ වෙනවා. මේ නිසා ඔවුන්ට ආහාර ගැනීම කියන්නෙ නොනවතින ජීවන අරගලයේම කොටසක්. ප්‍රමාණවත් තරම් ආහාර සපයගන්න හැකියාව තියෙන මිනිස්සුන්ගේ නම් මෙය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ නිසාම හිතා මතාම ආහාර පාලනය කරන්න, සෞඛ්‍යය රැකගැනීම සඳහා පවා විශේෂ ව්‍යායාම වල යෙදෙන්න සිදු වෙන තත්ත්වවයක් ඇති වෙලා තිබෙනවා. ස්වාභාවිකවම ඉහළ මේද ප්‍රමාණයක් තැන්පත් කරගන්න සුදුසු විදිහට සකස් වෙලා තියෙන කාන්තා ශරීර වල මේ ප්‍රවණතාවය ටිකක් වැඩී.

01. හෝමෝන වෙනස්කම්.

          නවයොවුන් විය පහුවෙනවාත් එක්කම, විවාහ උනාට පසු සහ දරුවන් ලැබුණාම මහත් වෙන එක ගොඩක් කාන්තාවන්ට මුහුණ දෙන්න සිදුවන දෙයක්. මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ කාන්තා සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම්. ආහාර රුචිය, බඩගින්න ඇතිවීමේ වාර ගණන, කායික ව්‍යායාම ලබා නොගෙන අලසව සිටීම වගේ දේවල් මේ නිසා ඉහළයාමේ ඉඩකඩ වැඩී. හෝමෝන වෙනස්කම් ඇතිවන සමයේ කළ හැකි හොඳම දේ තමයි සිරුරේ ක්‍රියාශීලී බව දිගටම පවත්වා ගන්න එක. සරළ ව්‍යායාම වගේම එදිනෙදා කටයුතු වලදී සිරුරට ව්‍යායාමයක් ලැබෙන විදිහේ දේවල් වැඩිපුර කිරීමට යොමු වීමත් මේකට ඉතාම හොඳ ක්‍රමයක්.


02. ප්‍රධාන ආහාරවේල් මඟහැරීම.

            කාර්යබහුල ජීවිතය නිසා නිතරම ප්‍රධාන ආහාරවේල් මඟහැරගැනීම අද සමාජයේ බොහෝ කාන්තාවන් අතර දකින්න ලැබෙන නරක පුරුද්දක්. විශේෂයෙන්ම බර වැඩි නිසා අඩු කරගන්න හිතාගෙන වේලක් නොකා ඉන්න එක බොහෝ දෙනෙක් කරන දෙයක්. නමුත් එයින් ඔබේ බර අඩුකර ගැනීමට විශේෂ වාසියක් නොලැබේ. එයින් සිද්ධ වෙන්නේ ආහාර නොලැබෙන බව දැනගෙන ශරීරය තම පරිවෘතීය ක්‍රියා අඩපණ කරගැනීම පමණයි. සිරුරට අලස ගතියක් දැනීම හැර එයින් වෙනත් යමක් සිදුවෙන්නේ නැහැ. මීට අමරව ප්‍රධාන ආහාර වේලක් නොගත්ත නිසා අවේලාවේ බඩගින්නක්  ආවිට ගන්න කෙටි ආහාරපාන නිසාත් ඉතා ඉහළ කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු වෙන්න පුලුවන්. ඒ නිසා නිතරම ප්‍රධාන ආහාරවේල් වෙලාවට ගත යුතුයි.


03. ආහාර ලබාගැනීමේ පහසුව.

            සත්ත්ව ලෝකයේ සතුන්ට ආහාර ගන්න තියෙන අපහසුව ඔවුන් තරබාරු වීම සීමා කරන ප්‍රධානතම සාධකයක්. නමුත් අද අපි ජීවත් වන සමාජයේ ළඟටම කැමති ඕනෑම කෑමක් ගෙන්වාගන්න ක්‍රම ඕනතරම් තිබෙනවා. අන්න ඒ පහසුකම නිසාම අනවශ්‍යය විදිහට කැලරි ඇගට දා ගන්න තිබෙන ප්‍රවණතාවයත් ඉතා ඉහළයි. මේ විදිහට නිතරම අතේ දුරින් කෑම බීම තිබෙන එක අද ලෝකයේ කාන්තාවන්ගේ තරබාරු බවට බලපාන ප්‍රධානතම සාධකයක්. ඒ නිසා පහසුව බලලා ආහාර ගැනීමේ පුරුද්ද ඔබත් තරමක් අඩු කරගන්න බලන්න. ලගට ආහාර ගෙන්වා ගැනීම වෙනුවට තමන්ම නැගිටලා ගිහින් ඒවා ගන්න හුරු වෙනවා නම් නැගිටලා යන්න තියෙන අකමැත්ත නිසාම උනත් යම් පාලනයක් ඒ තුළින් ඇතිවෙන්න පුලුවන්.

04. ආහාර ඇබ්බැහිය.

            මත්ද්‍රව්‍යය, නිකොටීන්, ඇල්කොහොල් වගේම ආහාර වලටත් ඇබ්බැහි වෙන්න පුළුවන් බව ඔබ දැනන් හිටියාද ? විශේෂයෙන්ම සරළ කාබෝහයිඩ්‍රේට වර්ග, ට්‍රාන්ස්මේද, ලුණු සහ රසකාරක වර්ග ඉහළ ආහාර වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයත් ඉතා ඉහළයි. ස්වාභාවික ලෝකයේ මේ ආහාර අවම නිසා ලැබුණු සැනින්ම ඒවාට අසාමාන්‍යය ආසාවක් ඇති වෙන්න අපේ මොළය සහජයෙන්ම සකස් වෙලයි තිබෙන්නේ. ඒ නිසා මේවා ඉහළ කෘතිම ආහාර වර්ග නිතර ගත්තහම එය ඇබ්බැහියක් දක්වා දුරදිග යන්නත් පහසුයි. ආහාර ඇබ්බැහියත් අද කාන්තා තරබාරු බවට තියෙන ප්‍රධානතම හේතුවක්. මේ ආහාර ඇබ්බැහිය අවම කරන්න නම් උවමනාවෙන්ම ඒවා අප්‍රිය වෙන්න දිව හුරුකරගැනීමයි වැදගත්. මේදය අඩු, ලුණු අඩු, සීනි අඩු ආහාර ලබාගන්න ටිකෙන් ටික ඔබේ දිව හුරු කරගන්න ඔබට පුලුවන්. මෙය මුල් කාලෙ තරමක් අපහසු උනත් මාසයක් වගේ සුළු කාලෙකින් ඒක සාමාන්‍යය දෙයක් බවට පත්වෙනවා.

05. නින්ද අඩු වීම.

            අද වනවිට තරුණ වයසේ ඉන්න බොහෝ කාන්තාවන්ට නිසි පරිදි නින්දක් ලබාගන්න ඉඩක් ලැබෙන්නෙ හරිම කලාතුරකින්. බොහෝ දෙනෙක් රැකියාවක නිරතවෙන අතරෙම වැඩිදුර අධ්‍යාපනය ලැබීම, පවුල් ජීවිතය, දරුවන් බලාගැනීම ඇතුළු වැඩරාජකාරි රාශියකට කොටු වෙලයි ඉන්නෙ. මේ නිසාම වෛද්‍යය නිර්දේශය වන පැය හතක නින්දක් දිනපතා ලබාගන්න කාන්තාවන් ඉන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. නින්ද හරියාකාරව නොලැබීම අපේ මොළයේ ආතතිය ඉහළ නංවන හෝමෝන ශ්‍රාවය වැඩි කරලා තමන්ගේ ශරීරය තරබාරු කරන්නත් ඔබට හේතුවක් වෙන්නට පුළුවන්. නින්ද අඩුකමට නම් තිබෙන එකම විසඳුම නින්ද හරියට ලබාගන්න එක විතරයි. කෝපි වගේ උත්තේජක පාන වලින් වලකින එක, රාත්‍රියට දුරකථන තිරය දිහා බැලීම සීමා කරන එක වැනි දේවලින් ඔබේ නින්ද වඩාත් ඵලදායී කරගන්න පුළුවන්.


06. ප්‍රතිකාර නොගන්නා මානසික ආතතිය.

          අද වෙද්දී තරුණ වයසේ කාන්තාවන්ගෙන් 50% ටත් වඩා ප්‍රතිකාර කළ යුතු මට්ටමේ මානසික ආතතියකින් හරි වෙනත් මානසික ගැටළුවකින් හරි පෙළෙන අයයි. කෙසේ නමුත් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න යොමු වෙන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. නිතරම මානසික ගැටළු වලට ලක් වී සිටීම අපේ හෝමෝන ක්‍රියාවලියට සෘජු බලපෑමක් ඇති කරනවා. අහිතකර ආහාර පුරුදු, අලස බව ඇතිකිරීම ආදිය වගේම ශරීරයේ මේද දහන ක්‍රියාවලිය අඩපණ කරන්නත් ඒවා හේතුවිය හැකියි. මේ නිසා මානසික ගැටළුවලට හැකි ඉක්මනින් ප්‍රතිකාර ගැනීමත් අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ඔබ මොනවා කළත් බර අඩු නොවෙන ගතියක් තිබෙනවනම් ගැටළුව ඔබේ මනසේ එකක් වීම ඉතා ඉහළ ඉඩකඩක් තිබෙන කාරණයක්.


07. ප්‍රධාන ආහාරවේල් ගන්නා අතරතුර අවධානයේ වෙනස්කම්.

          අද කාන්තාවන් වැඩි දෙනෙකුට නිදහසේ ඉන්න තිබෙන කාලය අඩු නිසා එකවර වැඩ දෙකතුනක් කරන්න අපි නිතැතින් හුරු වෙලයි ඉන්නෙ. මේ නිසා ප්‍රධාන ආහාරයක් ගන්නා අතරතුරත් වෙනත් යමක් සිදුකිරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. රූපවාහිනිය හෝ වීඩියෝ නරඹන එක සමාජ මාධ්‍ය වල තිබෙන දේ කියවීම, ඒවාට ප්‍රතිචාර දැක්වීම ආදිය කෑම ගන්නා අතරතුරම සම්පූර්ණ කරගන්න ඔවුන් හුරුවෙලයි ඉන්නේ. නමුත් තමන් ගන්නා ආහාරයේ රසය, සුවඳ ගැන වැඩි අවධානයක් නැතුව, ප්‍රමාණයක් ගැන අවධානයක් නැතුව මේ කරන වැඩෙන් ඔබ ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වෙනවා විතරක් නෙමෙයි. ඒවා නිසි පරිදි ජීරණය වීමත් අඩපණ වෙනවා.

08. අඟ හිඟකම්.

            දුප්පත් උණහම කන්න බොන්න සල්ලි නැති නිසා තරබාරු වීම ගැටළුවක් නැහැ, සල්ලි තියෙන අය පුළුවන් තරම් කන්න ගිහින් තරබාරු වෙනවා කියන එක බොහෝ කාන්තාවන් අතර තිබෙන හරි ප්‍රසිද්ධ මතයක්. නමුත් ඇත්තටම මුදල් අඟහිඟතා සිරුර තරබාරු කරන ආහාර වැඩිපුර ගන්න හේතුවක් වන බව ඔබ දන්නවාද ? මේකට ප්‍රධානතම හේතුව තමයි මිල අඩු පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආහාර බොහොමයක් පෝෂක වලින් අවම වීම. බොහෝ විට තෙල් සහ කාබෝහයිඩ්‍රේට ඒවායේ වැඩිපුර අඩංගුයි. සෞඛ්‍යයට හිතකර ආහාර බොහොමයක මිල ඉහළ අගයකයි තිබෙන්නේ. මෙයට කෙලින්ම විසඳුම් දෙන්න අපහසු උණත් ශරීරයට හිතකර ආහාර ගන්න එකට වැඩි වැදගත්කමක් ලබා දීමෙන් එයට වක්‍ර විසඳුමක් ලබාගන්න පුළුවන් වේවි.

09. ආහාර රටාවේ නොගැළපීම.

            ශ්‍රී ලංකාවේ අපි බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන ආහාරය බත්. බොහෝ කාන්තාවන් වේල් තුනටම බත් ආහාරයට ගන්නවා. උදේ පටන් රෑ වෙනකම් වෙහෙස මහන්සි වෙලා ගොවිතැනින් ජීවත් වෙන අයට නම් අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඒ ආහාර රටාව ඉතාම හොඳයි. කෙසේ උණත් අද බොහෝ කාන්තාවන් යෙදිලා ඉන්න රැකියා වලින් ඒ වගේ කායික ව්‍යායාම ප්‍රමාණයක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. මේ නිසා බත් ගොඩක් එක්ක ව්‍යංජන පොඩ්ඩක් බෙදාගෙන කන එක අපේ සිරුරේ අනවශ්‍යය මේදය තැන්පත් වෙන්න ප්‍රධානතම හේතුව වෙනවා. මේ නිසා ඔබ ගන්නා බත් ප්‍රමාණය අඩු කරගෙන ඒ වෙනුවට එළවළු, පළතුරු, ප්‍රෝටීන් ඉහළ ආහාර ආදිය වැඩිපුර ලබාගන්න ටිකෙන් ටික හුරුවෙන්න. බත් පිඟානෙන් හරි අඩක් ව්‍යංජන වලින් පිරෙන විදිහට බෙදාගැනීම තමයි හරිම ක්‍රමය වෙන්නේ.

10. ජානමය හේතු.

            උපතින් අපට ලැබෙන පෙනුම වගේම ජාන සැකැස්මත් හරිම සුවිශේෂී. එහි කොටසක් විදිහට ආහාර ජීරණය කර ශක්තිය නිපදවන්න යොදා ගැනීමේ කාර්යක්ෂමතාවයත් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. සමහරු මොන තරම් කෑවත් කෙට්ටුවට ඉන්නෙත්, තවත් සමහරු පොඩ්ඩක් කෑවත් හැමදාම මහතට ඉන්නෙත් මෙන්න මේ නිසාමයි. බොහෝ විට ඔබ විශේෂයෙන් උත්සාහයක් නොගන්නවා නම් ඔබේ සිරුරේ හැඩය තීරණය කරන ප්‍රධාන හේතුවත් ඒකමයි. උපතින් ලැබෙන දේ වෙනස් කරගන්න අපහසු උණත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. සිරුරේ පරිවෘතීය වේගය ඉහළ නංවන ග්‍රීන් ටී, සුදු ලූණු, මී පැණි වගේ දේවල් වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම එයට හොඳ ක්‍රමයක්. ඒ වගේමයි හිතා මතාම හරි අලස වෙන්නෙ නැතිව සිරුර ක්‍රියාශීලීව තබාගැනීමටත් පරිවෘතීය වේගේ ඉහළින් තබාගන්න ඔබට උපකාරී වෙනවා.

 



                 







Post a Comment

0 Comments