බුද්ධිමත් තීරණය
එක්තරා කාලයක නේපාලයේ සිටි ත්‍රිබුවාන් රජු ඔත්තුකරුවන් රට වටා යවා රටවැසියන්ගේ තොරතුරු දැන ගත්තේය. සමහර දවස්වල රාත්‍රියේ රජතුමා වෙස් වළාගෙන රටතොට ඇවිද්දේය. එක් දිනක් රජතුමා රාත්‍රියේ වෙස් වළාගෙන ඇවිදින අතර සොරුන් රංචුවක් දුටුවේය. තම රාජධානියේ සොරුන් සිටීම ගැන රජතුමා කනස්සලු වූවේය. රජතුමා සොරුන් රංචුව සමඟ සටන් කරන්නට ඉදිරිපත් වූවේය. එවිට සොරුන් රංචුව මේ රජතුමා බව නොදැන ඔහුට පහර දෙන්නට පටන් ගත්හ. මේ අතර තරුණයෝ පස් දෙනෙක් එතැනට පැමිණියහ. ඔවුහු රජු බේරා ගන්නට ඉදිරිපත් වූහ.
එහෙත් ඔවුන් රජතුමා හඳුනා ගත්තේ නැත.
“ඔබ වැනි නිර්භීත තරුණයන් මේ රටේ සිටීම ආඩම්භරයක්...” කියා රජතුමා තරුණයන්ට කීවේය.
රජතුමා තමන්ගේ විස්තර නොකියා තරුණයන් පස් දෙනාගේ පදිංචිය පිළිබඳ තොරතුරු ලබා ගත්තේය.
පසුදින උදය තරුණයන් පස් දෙනා හමු වන්නට රාජ පුරුෂයෝ පැමිණියහ.
“ඔබ සියලු දෙනාටම රජ මාළිගයෙන් කැඳවීමක් තියෙනවා...වහාම සූදානම් වන්න.”
තරුණ පිරිස රජ මාළිගාවට ගියහ. රජතුමා හඳුනාගත් තරුණයෝ වැඳ වැටුණහ.
“අනේ රජතුමනි, අපට සමා වෙන්න...”
“ඔබලා මොකටද සමාව ඉල්ලන්නේ… ඔබලා නොසිටියා නම් ඊයේ රාත්‍රී මට අනතුරක් වෙන්නත් තිබුණා. ඉතින් ඔබලා මගේ යාලුවෝ කියලයි මම හිතන්නේ… ඉතින් ඔබලාට වුවමනා මොනවාද කියලා මට කියන්න.”
එක් තරුණයෙක් රජතුමාට මෙසේ පැවසුවේය.
"රජතුමනි, මා ජීවත් වන නිවස කැඩිලා. ඒක හදලා දෙන්න පුළුවන් නම් හොඳයි."
රජතුමා ඒ කැඩුණු නිවස වෙනුවට නව නිවසක් තනවන්නට නියම කළේය.
දෙවෙනි තරුණයා මෙසේ කීවේය.
"රජතුමනි, අපි ඉතාම දුප්පත්... අපට මුදල් ටිකක් ලැබුණොත් හොඳයි..."
මේ දුප්පත් තරුණයාට මුදල් දෙන ලෙස රජතුමා භාණ්ඩාගාරය භාර නිලධාරියාට නියම කළේය.
තුන්වෙනි තරුණයා මෙසේ කීවේය.
"මම උගත් කෙනෙක්. ඒ වුණත් මට ගැළපෙන රැකියාවක් තාමත් නැහැ.. රජතුමනි, මට ගැළපෙන රැකියාවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි..."
රජතුමා ඒ තරුණයා නිලධාරියකු වශයෙන් මාලිගයේ සේවයට බඳවා ගත්තේය.
හතරවැනි තරුණයා මෙසේ කීවේය.
"රජතුමනි,මගේ ගම තියෙන්නේ නගරයෙන් කිලෝ මීටර තිහක් විතර ඈත.ඒ ගම ඉතාම දුෂ්කරයි.ඒ ගමට යන්න හොද පාරක් හදවලා දෙන්න පුළුවන් නම් හොදයි..."
අලුත් පාරක් තනවන ලෙස රජතුමා සිය සේවකයන්ට අණ කළේය.
පස්වෙනි තරුණයා මෙසේ කීවේය.ඔහුගේ නම බිනිල්ය.
"රජතුමනි, ඔබතුමා හැම අවුරුද්දකම එක් දිනයක් මගේ ආගන්තුකයකු වෙන්න… එයයි මගේ ඉල්ලීම…"
බිනිල්ගේ ඉල්ලීම ගැන රජතුමා කුමක් කියාවිදැයි ඔවුහු පුදුමයෙන් බලා සිටියහ. බිනිල්ගේ ඉල්ලීම අමුතු එකක් වුවත් එය පිළි ගැනීමට ඔහු බැඳී සිටියේය.
ඊ ළඟ අවුරුද්දේ දිනයක රජතුමා බිනිල්ගේ ගමට යන්නට සූදානම් වූවේය. එපමණක් නොව නව මාළිඟාවක්ද එහි තනවන ලදී. බිනිල්ට ද එම මාළිඟාව යන්නට සිදු විය. මාලිගාවේ සේවය සඳහාද නිලධාරීහු හා සේවකයෝ පැමිණියහ. බිනිල්ටද ජීවත් වීමේ දීමනාවක්ද ලැබිණි. රජුගේ සංචාරය සඳහා මාර්ගය අලුත්වැඩියා කොට සකස් කරන ලදී. ඒ අනුව බිනිල්ට රජයේ උසස් තනතුරක්ද පිරිණමනු ලැබිණි. රජතුමාගේ අග්‍රාමාත්‍යවරයා රජතුමාට යෝජනා කළේ බිනිල් ඉතා බුද්ධිමත් කෙනෙකු බැවින්, රජතුමාගේ දූ කුමරිය ඔහුට සරණ පාවා දී මේ නව මාළිගය ඔවුන්ට පිරි නමන ලෙසය. ඒ අනුව රජතුමා තම දියණිය මේ බුද්ධිමත් බිනිල්ට සරණ පාවා දුන්නේය. බිනිල්ට බොහෝ දේ ලැබුණේ ඉල්ලන්නේ නැතිවය.
(නේපාල ජන කතාවක් ඇසුරිණි)
මූලාශ්‍රය : විජය පුවත්පත
0 Comments