බොහෝ කලකට පෙර තිබූ ගල් තලාවක් මත පසු කලක කැලෑවක් හට ගන්නේ කෙසේද ?
            මෙය සිදුවන්නේ ගල්තලාවේ සිදුවන පාෂාණ ජීරණය සහ පසුව එකතු වන දූවිලි නිසයි. දැඩි හිරු රෂ්මියට නිරාවරණය වූ විට ගල් තලා පෘෂ්ඨය ප්‍රසාරණය වේ. එදිනම රාත්‍රියේ තද සීතල නිසා ඒ ගල් පෘෂ්ඨය සංකෝචනය වීමට ප්‍රයත්න දැරුව ද එසේ නොවී ගල් පෘෂ්ඨය පුපුරා යන්නේ ගලට ඉක්මනින් සංකෝචනය වීමට නොහැකි නිසයි.මෙවැනි ක්‍රියා බොහෝ කලක් තිස්සේ සිදුවන විට එම ගල් කුඩු සමග සුළඟේ පාවී එන දූවිලි ද එතැන පතිත වී ඉතා තුනී පස් තට්ටුවක් ඇතිවේ. මෙය මත වැටෙන බීජ හෝ බීජාණු පැළ වී පින්නෙන් එතැනට වැටෙන තෙතමනය ද ආධාර කරගෙන තරමක උස පැළ සෑදේ. ක්‍රම ක්‍රමයෙන් මේ පසෙහි ඝනකම වැඩිවන විට වඩාත් ගැඹුරු මුල් සහිත පැළ මෙතැන වැඩේ. ඒවායින් සමහරක් වෘක්ෂ බවට පත් වේ. එවිට ඇති වන්නේ කැලෑවකි.


පලතුරු වලට වඩා ගුණදායක වන්නේ එළවළු යැයි කියන්නේ ඇයි ?
           එළවළු වලට සාපේක්ෂව බොහෝ පළතුරු වල තිබෙන්නේ අඩු පෝෂ්‍ය ගුණයක් යයි දැන් සොයාගෙන තිබේ. පලතුරු වල සීනි වැඩියි. එනිසා දියවැඩියාව තිබෙන අයට වඩාත් ගුණදායී වන්නේ සීනි අඩු එළවළුයි. තවද පලතුරුවල විටමින් A හා C වැඩිපුර ඇති නමුත් විටමින් B,E,K සහ ඇතැම් ඛනිජ වර්ගත් පලතුරු වල බොහෝ අඩුයි. ගෝවා, මල් ගෝවා හෙවත් කෝලිෆ්ලවර්, නෝකෝල් වැනි එළවළු වල බහුලව තිබෙන ෆයිටො රසායනිකයන් හී අඩංගු සල්ෆොරුෆේන් නම් ද්‍රව්‍යය තුළ විශේෂ හැකියාක් පවතිනවා. එනම් එයට සිරුර තුළ ඇති පිළිකා කාරක ද්‍රව්‍ය විනාශ කරන එන්සයිම වැඩි කිරීමට ඇති හැකියාවයි. එනිසා පලතුරු වලට වඩා එළවළු කෑම ගුණයි.


දේදුන්න දැකිය හැක්කේ අහස වැසි බර වූ විටයි. නැත්නම් සමහර දියඇලි අවටයි.. මේ ඇයි ?

            වැසි බර අවස්ථාවල දී සහ වේගයෙන් ජල ධාරා විහිදුවමින් ගලා හැලෙන දියඇලි ආසන්නව ඇති පරිසරයේ ජල බිංදු අධිකයි. අපට ඉදිරියෙන් ජල බිංදු ද ඊට පිටුපසින් සූර්යයා පායා තිබීම ද අවශ්‍යයයි. සූර්යයාගෙන් නිකුත් වන ආලෝක කිරණ ජල බිංදු මතට වැටී වර්තනය වන විට සූර්ය ආලෝකය තැනී ඇති වර්ණ හත විවිධ ප්‍රමාණවලින් වර්තනය වේ. ඒ වර්ණ එකකට එකක් පිහිටන සේ අපේ ඇසට යොමුවන විට පෙනෙන්නේ දේදුන්නයි. එනම් දේදුන්න ඇති වන්නේ සුදු ආලෝකය සෑදී තිබූ වර්ණ හත කාචයක් සේ ක්‍රියාකළ ජල බිංදුවක වක්‍ර පෘෂ්ඨයන් මගින් වෙන් කර අපේ ඇසට යොමු කළ නිසයි.

Post a Comment

0 Comments