අතීතයේ ඉදි වූ අපූරු හෙළ නිර්මාණ කීපයක්

අතීතයේ ඉදි වූ අපූරු හෙළ නිර්මාණ කීපයක්

          අද වෙද්දි දියුණුව අතින් යම් පසුබෑමක් තිබුණත් ශ්‍රී ලංකාව අතීතයේ ඉදලම දියුණුවක් තිබුණු සෞභාග්‍යමත් රටක්. භෞතික වගේම අධ්‍යාත්මික දියුණුව අතිනුත් අපේ රට ගොඩක් ඉදිරියෙන් තිබුණා. ඒ බව අදටත් දැනගන්න ඉඩ සළස්වන බොහෝ විශ්මිත අතීත නිර්මාණ අපේ රටේ ඇති තරම් දැකගන්න ලැබෙනවා.

01. සීගිරිය.

          ලංකාවේ තිබෙන විශ්මිත නිර්මාණ ගැන කියද්දි සීගිරිය ගැන නම් කාටවත් අමතක වෙන්නෙ නෑ. ලෝකයේ අටවන පුදුමය කියලත් සැළකෙන මෙය මහාවංශයට අනුව නම් කාශ්‍යප රජතුමා විසින් ගොඩනගන ලද්දක්. කෙසේ උනත් එහි තිබෙන දියුණු ඉංජිනේරු තාක්ෂණයත්, පිහිටීමත්, විශේෂාංග වගේ දේවල් ගැන බැලුවහම නම් කාශ්‍යප රජතුමාගේ කාලයට පෙර ඉදලම ඉඳි කරන ලද්දක්ද කියලත් සැකයක් තියෙනවා. සීගිරිය කියන්නෙ ඊට කාලයකට පෙර ලංකාව පාලනය කළ බව සැළකෙන රාවණා රජ්ජුරුවන්ගේ ආලක මන්දාව බව තිබෙන මතයට අද වෙද්දී ලොකු පිළිගැනීමක් තිබෙනවා. නිර්මාණය කළේ කවුරු උනත් සීගිරිය හැම අතින්ම අතිශයින්ම පුදුම නිර්මාණයක්. අදටත් ක්‍රියාත්මක වන වතුරමල්, සීතල රැදෙන පොකුණු, ඒ අවට ඉදිකර ඇති සුවිසල් උද්‍යාන, ඇතුලත දකින්න ලැබෙන චිත්‍ර සහ ශෛලමය නිර්මාණ ආදියෙන් ඒ බව හොඳින්ම දැනගන්න පුළුවන්.

02. ජේතවනාරාමය.

අද වන විට ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා ඔබ දන්නවා ඇති. නමුත් මීට වසර දහස් ගණනකට පෙර අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් එම කිරුළ හිමි වී තිබුණේ ගීසාහි මහා පිරමීඩයටයි. උසින් දෙවැනි ස්ථානය එම ප්‍රදේශයේම තිබුණු තවත් පිරමීඩයකට හිමි වී තිබුණු අතර තුන් වෙනි ස්ථානය හිමි උනේ ශ්‍රී ලංකාවේ තිබූ ජේතවනාරාම චෛත්‍යයටයි. අතීතයේ මෙහි උස අඩි 400ක් පමණ වූ බවට ගණන් බලා තිබෙනවා. තනිකරම මැටි ගඩොල් යොදාගෙන නිර්මාණය කරල තිබෙන මෙය අදටත් ගඩොලින් පමණක් තනපු ලොව විශාලතම ගොඩනැගිල්ලත් වෙනවා. ඉතාම නිවැරදි මිනුම් ක්‍රම යොදාගෙන වසර දහස් ගණනක් අතීතයේ එය හරියටම වෘතාකාර පාදමක් එන විදියට ගොඩ නැංවූ ආකාරය අදටත් හිතාගන්න බැරි තරම් පුදුමයි.

03. නාලන්දා ගෙඩි ගේ.

අපේ රටේ තිබෙන අතීත නටඹුන් බහුතරයක් බෞද්ධාගමික හෝ හින්දු ආගමික විදියට සැළකිය හැකි ඒවා. කෙසේ වුවත් මාතලේ ප්‍රදේශයේ මේ ආගම් දෙකේම ලක්ෂණ  අමුතු විදියකට සම්මිශ්‍රණය වූ එක්තරා ගොඩනැගිල්ලක් දැකගන්න ලැබෙනවා. නාලන්දා ගෙඩි ගේ කියලා හඳුන්වන මෙය නිර්මාණය කළ ස්ථානයේ සුවිශේෂත්වය හෙළි වුණේ පසුකාලීනවයි. ශ්‍රී ලංකාව සිතියම්ගත කළාට පස්සේ එය බොහෝදුරට ශ්‍රී ලංකාවේ හරිමැදට වන්නට පිහිටා ඇති බව දැකගන්න ලැබුණා. ඒ වගේම තමයි සමහර පරිගණක මොඩ්ල් වලට අනුව මීට වසර පන්දහසකට පමණ පෙර මුහුදු මට්ටම තරමක් පහත්ව තිබූ කාලෙ ලංකාවට අයත් භූමි සීමාව ගුරුත්ව කේන්ද්‍රය එක්කත් මේ ස්ථානය සමපාත වෙනවා කියලත් වාර්තා වෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා නාලන්දා ගෙඩි ගේ විශ්ව ශක්තිය එකතු කරගන්න රාවණා රාවණා රජු විසින් නිර්මාණය කළා කියන මතයට දැන් ලොකු පිළිගැනීමක් ලැබිලා තියෙනවා.

04. යෝධ ඇළ.

අහස් ගඟ කියලත් හැඳින්වෙන යෝධ ඇළ හිතාගන්න බැරි තරම් සුළු බැස්මක් හෝ නැග්නම් ඇතිව සකස් කරල තිබෙන බව ඔබත් මීට කලින් අහල ඇති.කෙසේ නමුත් යෝධ ඇළ සැබෑම විශ්වකර්මයක් වෙන්නේ එහි බැම්ම සකසා ඇති විදිය නිසා. සාමාන්‍යය ඇළ මාර්ගයක් සකස් කරද්දි දෙපැත්තෙන්ම බැමි බඳින්න අවශ්‍යය උනත් යෝධ ඇළ සකස් කරලා තියෙන්නේ තනි බැම්මක් සහිතව අනිත් පැත්ත නිදහසේ පැතිරී යන විදිහටයි. මේ අනුව තනි බැම්මකින් විතරක් සමන්විත එය ඇළකටත් වඩා ගලායන ජලාශයක්, එසේ නැත්නම් දික් වැවක් කියලා හඳුන්වන එකයි වඩාත් නිවැරදි වන්නේ. බැම්මක් නැති පැත්තෙන් දිය වෙන පස් ඇළ ගලාගෙන යනකොට අනිත් පැත්තේ ඇති බැම්මේ තැන්පත් වෙමින් නැවත ප්‍රතිපූරණය වෙන විදියට තමයි මෙහි සියුම් වංගු සකස් කරලා තියෙන්නේ. මේ නිසා තනිකරම පස් වලින් සකසා තිබුණත් වසර දහස් ගණනක් තිස්සේ එහි බැම්ම සේදී යන්නේ නැහැ. බැලූ බැල්මට යෝධ ඇලේ ජලය ගලායන බව පේන්නෙත් නෑ. ඒ තරමටම ජලය හීන් සීරුවේ තමයි ඇදිලා යන්නේ. යෝධ ඇලේ ජලය අඟලේ බැස්මට පවතී යයි සමහරු පැවසුවත් එහි ඇත්තේ අඟලේ බැස්මක් නොව සැතපුම් 17ට අඟල් 6ක නැග්මක්. හේතුව, කලා වැව පහත් බිමේ සිට මෙය ගලා යන්නේ තිසා වැව උස් බිමට වීමයි.

05. ලෝවාමහාපාය.

නූතනයේ තිබෙන වානේ සැකිළි ක්‍රමයෙන් තට්ටු සිය ගණනක් උනත් උසට ගොඩනැගිල්ලක් හදන එක අපහසු දෙයක් නෙමෙයි. හැබැයි අතීත ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් තට්ටු හතක ගොඩනැගිල්ලක් හදනවා කියන එක නම් ඉතාම අපහසු කාරණයක් උනා. ලෝවාමහාපාය සකස් කරලා තිබුණේ ඒ විදිහට තට්ටු හතක ගොඩනැගිල්ලක් තනිකරම ගල්කුලුණු 1600ක් උඩ පිහිටන විදිහටයි. පසුකාලීනව වරින් වර ඇති වුණු ගිනිගැනීම් නිසා මෙය කිහිප වරක්ම උසින් අඩු කොට සාදා තිබෙනවා. ලෝවාමහාපායට ඒ නම ලැබෙන්න හේතු වුණු ලෝහ වහලයත් පසුව සොළීන් විසින් විනාශ කළ බව තමයි කියවෙන්නේ. කෙසේ උනත් එදා දැවැන්ත ගොඩනැගිල්ලක් දරා හිටපු මේ ගල්කුළුණු රැසක්ම අදටත් බොහොම ආරක්ෂිතව ශේෂ වෙලා පවතිනවා.

09. මිහින්තලේ රෝහල.

අපේ රට අතීතයේ ඉඳලම ඉතා දියුණු සෞඛ්‍යය සේවයක් තිබ්බ රටක්. ඒ අතරින් සුවිශේෂී තැනක් ගන්න මිහින්තලේ පැරණි රෝහල අද වෙද්දී ලොව පැරණිම රෝහලක් විදිහටයි නම් දරා තිබෙන්නේ. මිහින්තලේ ගල නගින පියගැටපෙල පාමුල පිහිටා ඇති මෙහි ඉපැරණි බෙහෙත් ඔරුවක්, වෙන්කළ ශාලා, පුරාණ බෙහෙත් ක්‍රම ගැන සෙල්ලිපි ඇතුළු බොහෝ දේ අදටත් දැකගන්නට පුළුවන්. කෙසේ උනත් මෙහි තිබී හමු වූ විශේෂම දෙයක් උනේ භෂ්මාවශේෂ බඳුන්. එයින් බෝ වන රෝග වලින් මිය යන රෝගීන්ගේ සිරුරු රෝහල තුළදීම පුළුස්සා එම රෝග පිටතට පැතිරීයාම වළක්වා ගැනීමට කටයුතු කළ බව තමයි පෙනී යන්නේ.

 10. රට පුරාම හමු වී ඇති පුරාණ වැසිකිළි.

මෑත කාලයේ මිලියන ගණනක් මිය ගිය රෝග බොහොමයක් වෛරස ආසාධන නිසා ඇති උනත් අතීතයේ එයට ප්‍රධාන හේතුවක් උනේ සනීපාරක්ෂක ගැටළු. මේ නිසා පාචනය, කොළරාව වැනි රෝග වලින් අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල බොහෝ දෙනෙක් මියගොස් තිබෙනවා. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ රට පුරා හමු වී ඇති අතීත වැසිකිළි වලින් පෙනීයන්නේ අපේ රටේ අතීතයේ සිටම ඉතාම හොඳ සනීපාරක්ෂක ක්‍රම පැවති බවයි. මේවා සකස් කරන්න යොදාගත්ත ගල් පවා රෝගකාරක විනාශ වෙන විදිහට තෙල් වර්ග වලින් පොඟවා, පුළුස්සා සකස් කර ඇති බවට අදටත් සාක්ෂි දැකගන්න පුලුවන්.


අඩුපාඩු එහෙම තියෙනවනම් ඒවත් කියාගෙන යන්න කට්ටිය....😊😊😊


Post a Comment

0 Comments