මහා සාගර පතුලේ සැඟ වී ඇති අත්භූත දේවල්


මහා සාගර පතුලේ සැඟ වී ඇති අත්භූත දේවල්

මහ මුහුද කියන්නේ පුදුමාකාර ගුප්ත බවක් සහිත මහ විශාල රහස් ගොඩක් සඟවගත්ත තැනක් කියලා හැඳින්වූයේ අද ඊයෙක නෙමේ. මුහුදු වෙරළක් පිහිටා තිබෙන හැම රටකම වගේ සාගරයක් ගැන විවිධ කටකතා, ප්‍රබන්ධ, ජනප්‍රවාද රැසක් බිහිවෙලා තියෙනවා. අද වන විට සාගර විද්‍යාව ආශ්‍රිතව ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක සාගරය ගැන ඉස්සරට වඩා හොඳ අවබෝධයක් අපිට තිබුණත් තවමත් අපි ඒ ගැන නොදන්න දේවල් නම් ඕනතරම්. පහත දැක්වෙන්නේ එවැනි ස්ථාන කීපයක්.


01. මෙක්සිකෝ බොක්කේ අද්භූත නැව

            අද කාලයේ නැවක් මුහුදුබත් වෙන්නේ කලාතුරකින් උනත් අතීතයේ නම් එය ඉතාම සුලභ දෙයක් වුණා. කුණාටු, දියවැල් ඇතුළු විවිධ හේතු නිසා මුහුදේ ගිලී ගිය නැව් දහස් ගණනක නටබුන් අදටත් දැක ගන්නට ලැබෙනවා. තරමක් මෑත කාලයේ සිදුවුණු ටයිටැනික් ඛේදවාචකය එයට හොදම උදාහරණයක්. කෙසේවෙතත් මෙක්සිකෝ බොක්කේ ගිලී ගිහින් තිබෙන එක්තරා නැවක නටඹුන් පරීක්ෂා කරන්න උත්සාහ කරන හැම අවස්ථාවකම විද්‍යාඥයන්ට අසාමාන්‍ය කරදර රැසකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. අඩි 2600ක් තරම් ගැඹුරු මුහුදේ තිබෙන මෙම නැව වෙත යවන හැම සබ්මැරීනයක්ම හිතාගන්න බැරි විදිහට කාර්මික දෝෂවලට ලක්වීම සිදු වී තිබෙනවා. ඒ නිසාම අදටත් ඒ ගැන හරිහැටි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙලා නෑ. එය මායාවරුන්ගේ වස්තුව සොරකම් කරගෙන ඒම නිසා එය ශාපලත් නෞකාවක් බවත් ඒ නිසා මෙවැනි දේ සිදුවන බවත් කටකතා පැතිර ගොස් තිබෙනවා.

02. අති දැවැන්ත දැල්ලන්.


            සාගර පතුලේ ඇති විශාල දැල්ලන් හා බූවල්ලන් ජීවත් වෙනවා කියන කතාව අතීතයේ ඉදන්ම නැවියන් අතර තියෙන මතයක්. ක්‍රැකන් වැනි බිහිසුණු සත්ත්වයන් ගැන පුරාවෘත බිහිවෙන්නත් ඒවා හේතු වී තිබෙනවා. අපිට හිතාගන්නත් බැරි තරම් ව්ශාල දැල්ලන් විශේෂයක් සාගරයේ සැබෑවටම ජීවත් වෙනවා. අඩි 45ක් තරම් විශාල 700kg ක් පමණ බර මේ සතුන් හඳුන්වන්නේ අති දැවැන්ත දැල්ලා කියන අදහස ඇති කොලෝසල්ස් ක්වීඩ් කියන නමින්. මේ දැල්ලාගේ කඳ සහ හිස කොටස් විශාල ප්‍රමාණයේ SUV එකක් තරම් උගේ ඇසක් 28cm ක් පමණ විශාලයි. කලාතුරකින් දැල්වලට හසුවන මේ වර්ගයේ සතුන්ට වඩා කිහිපගුණයකින් විශාල යැයි සිතිය හැකි දැල්ලන්ගේ හකු ඇට තල්මසුන්ගේ ආමාශ වල තිබී හමු වී තිබෙනවා. මහා සාගරයේ කිලෝමීටර් ගාණක් ගැඹුරේ වෙසෙන මේ දැල්ලන් අධ්‍යයනය කරන්න තිබෙන හැකියාව ඉතාම සීමිත නිසා අති දැවැන්ත දැල්ලා අදටත් රහස් බොහොමයක් සඟවාගෙන සිටින අති දැවැන්ත සතෙක්.

03. ඒන්ෂන් මුහුදු නටඹුන්

            ග්‍රීසිය ඉතා අපූරු දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රටක් ඔවුන් තර්ක ශාස්ත්‍රය, දර්ශනය, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි බොහෝ වැදගත් සංකල්ප ලොවට දායාද කරපු ශිෂ්ටාචාරයක් කියලා සලකන්න පුළුවන්. ඔවුන්ගේ අතීත ගෘහනිර්මාණ ශිල්ප නටඹුන් වලට අදටත් ලොකු සංචාරක ආකර්ෂණයක් ලැබෙනවා. කෙසේ වෙතත් 2014 තරම් මෑත කාලයේදී ග්‍රීසියේ ඩෙලෝස් මුහුදු වෙරළ අසල තිබෙන ඒන්ෂන් මුහුදු පතුලේ තිබී ඉපැරණි නගරයක නටඹුන් සොයා ගැණුනා. මැටි භාණ්ඩ නිපදවන උපකරණ වගේම පෝරණු ඇතුළු දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ රැසක් සහිත මෙය අක්කර 12ක ප්‍රදේශයක් පුරා පැතිර තිබෙනවා. මේ නටඹුන් වසර 4500 ටත් වඩා පැරණි බව පසුව හෙළිදරවු වුණා. අද වනවිට මුහුද යට පොම්පෙයි නගරය කියලා හඳුන්වන මෙහි ඉතිහාසය අදටත් ප්‍රහේලිකාවක්.

04. කියුබානු මුහුද යට නගරය.

            සමහර අවස්ථාවල භූමිකම්පා ඇතුළු විවිධ හේතු නිසා නගර පිටින් මුහුදේ වැළලී යාමේ ඉඩක් තිබෙනවා. 17 වන සියවසේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ තිප්පොලක් වූ ජැමයිකාවේ පෝට්රෝයල් ගිලී යාම එයට හොඳ උදාහරණයක්. කෙසේ වෙතත් ඒවා සාපේක්ෂව නොගැඹුරු මුහුදෙයි තියෙන්නේ. කියුබාව අසල තිබෙන ගිලී ගිය ඊජිප්තුවේ පිරමීඩ හා සුප්‍රසිද්ධ ෆීනික්ස් ප්‍රතිමාවට සමාන හැඩවලින් යුත් ඉදිකිරීම් රාශියක් දැකගන්න ලැබෙනවා. එය පිහිටා තිබෙන්නේ 800m ක් තරම් ගැඹුරු මුහුදේ. මුහුද මතුපිට තිබුණු මෙවැනි නගරයක් ගිලී ගිය බවට කිසිම ඉතිහාස සාක්ෂියක් නෑ වගේම එවැනි සිද්ධියක් සිදු වූ බවට භූ විද්‍යා සාක්ෂි කිසිවක් හොයාගන්නත් නෑ.

05. බෝල්ටික් මුහුදු පතුලේ අද්භූත යානය.

            බෝල්ටික් මුහුදේ අතීතයේ සිටම කාර්යබහුල නැව් මාර්ග රැසක් පිහිටා තිබුණු නිසා එහි ගිලීගිය නැව් රැසක නටබුන් දැක ගන්න ලැබෙනවා. කෙසේ වෙතත් ඒවායින් සමහරක් ඒවා නම් නැව් නිසා ඇති වූ ඒවා කියලා විශ්වාස කරන්න අමාරු විදිහේ හැඩතල වලින් යුක්තයි. ඒ අතරින් සුවිශේෂී එක වන්නේ අඩි 200ක් පමණ විශාල වෘතාකාර හැඩයක් ඇති වස්තුවක්. මෙය භූ ගර්භ ක්‍රියාකාරකමකින් ඇති වූ එකක් කියලා සැලකුණත් ස්වාභාවික ක්‍රියාවකින් ඇති විය නොහැකි විදියේ හැඩතල රාශියකින් යුක්තයි. ඒ වගේම එහි සම්පූර්ණ හැඩය සිතියම්කරාම Star Wars චිත්‍රපටියේ එන මිලේනියම් ෆැල්කන් යානාවටත් අමුතුම සමානකමක් දක්වනවා. මේ අද්භූත හැඩය නිසාම සමහරු මෙය හඳුන්වන්නේ බෝල්ටික් මුහුදේ ගිලී ගිය පිටසක්වල යානාවක් කියලයි.

06. කිරි සාගරයක්.

            සමහර කාලවල ගැඹුරු මුහුද මුහුද ප්‍රදේශවල මතුපිට දිලිසෙන සුදු පාටක් ඇති වීම ගැන වාර්තා රාශියක් අතීත නැව් වල ලොග් පොත්වල දකින්න ලැබුණා. පෙනෙන මානයේම සාගර ජලය තනිකර දිලිසෙන කිරි පාටට හැරෙන බවයි ඒවායේ ලියවිලා තිබුණේ. කාලයක් තිස්සේ මෙය හිතලුවක් විදිහට බැහැර කරලා තිබුණත් 1985දී විද්‍යාත්මක කණ්ඩායමකටත් එවැනි සංසිද්ධියක් දකින්න ලැබුණා. ඔවුන් එහි සාම්පල් ලබා ගන්නට පවා සමත් වුණා. අද වෙද්දී මේ තත්ත්වය ඇති වෙන්නේ ආලෝකය විහිදුවන්න හැකියාව තිබෙන බැක්ටීරියා විශේෂයක් එක් රැස් වීම නිසා බව හඳුනාගෙන තිබෙනවා.

07. ක්‍රිෂ්ණාගේ ආදම්ගේ පාලම.

            වාල්මිකී පඬිවරයා ලියූ රාමායණයේ එන සිද්ධි වලින් කොයිතරම් ප්‍රමාණයක් ඇත්තටම සිදු උනාද කියන එක අතීතයේ ඉදන්ම මතභේද රාශියකට තුඩු දුන්න කාරණයක්. සමහරු එය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් විතරයි කියද්දී සමහරු කියන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අදටත් දක්නට ලැබෙන භූ ලක්ෂණ ජීවමාන සාක්ෂි කියලා සලකන්න පුළුවන් බවයි. ඒ කෙසේ වුවත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පෝක් සමුද්‍ර සන්ධියේ තිබෙන පාලමක් වගේ සැකැස්ම නම් වෙනස් විදියකින් පැහැදිලි කරන්න අපහසු එකක්. ක්‍රිෂ්ණාගේ පාලම, එහෙමත් නැතිනම් ආදම්ගේ පාලම කියලා හැඳින්වෙන මෙය ලංකාවට හමුදාව ගෙන එන්න ඉදිකළ එකක් බව රාමායණයේ දැක්වෙනවා. හිතාමතා හදපු එකක් වගේම ඉතාමත් සිහින්ව ඉදි වී ඇති මේ ගල් ස්ථරය ස්වාභාවිකව ඉදි වූ එකක් වෙන්න බැරි බවයි භූ විද්‍යාඥයින් බොහෝ දෙනාගේ මතය.

08. මෙගලෝඩොන් මෝරන්

            වර්තමානයේ සිටින විශාලතම මෝර විශේෂය වන්නේ දැවැන්ත සුදු මෝරන් හෙවත් ග්‍රේට් වයිට් ලෙස හඳුන්වන මෝර විශේෂයයි. සුප්‍රසිද්ධ ජෝස් චිත්‍රපටි වලටත් පාදක වූ මේ සතුන් දිගින් අඩි 20ක් පමණ විශාල වීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත් ලෝක ඉතිහාසයේ විසූ විශාලතම මෝර විශේෂය නම් ඊටත් වඩා තුන් ගුණයක් පමණ විශාලයි. මෙගලෝඩොන් නමින් හැඳින්වෙන මේ මෝර විශේෂය අඩි 50-60 අතර දිගකින් යුක්තයි. අවම වශයෙන් වසර මිලියන දෙකකටත් පෙර මෙගලෝඩොන් සම්පූර්ණයෙන්ම වඳ වී ගිය බවයි විද්‍යාවෙන් පිළිගැනෙන්නේ. කෙසේ වෙතත් අදටත් හිතාගන්න බැරි තරම් විශාල දත් වලින් වූ තුවාල සහිත තල්මසුන් කලාතුරකින් හමු වෙනවා. මේ නිසා අදටත් මෙගලෝඩොන් මෝරන් ජීවත් වෙනවා කියලත් සමහරුන් විශ්වාස කරනවා. වසර මිලියන 65ක් වඳ වී සිටියා කියලා සැලකුණු සිලිකැන්ත් වැනි මාලු විශේෂ වල පවා ජීවත් වන සතුන් මෑතකදී හමු වීම එයට සාක්ෂියක් විදියට ඔවුන් පෙන්වා දෙනවා.

09. බිමිනි මාවත.

            ඇට්ලෑන්ඩ්ස් කියලා අතීතයේ තිබුණු දියුණු නගරයක් මුහුදු බත්වුණා කියන එක අත්ලාන්තික් සාගරය අවට තිබෙන රටවල් රැසක පවතින ජනප්‍රවාදයක්. අදටත් මුහුද යට සැඟවී තියෙනවා කියලා සලකන ඇට්ලෑන්ඩ්ස් නගරය සොයා ගන්න බොහෝ දෙනෙක් වෙහෙසෙනවා. ඒ වගේම මුහුදු පතුලේ ඇති විවිධ නටබුන් වලට ඇට්ලෑන්ඩ්ස් නගරය කියලා ප්‍රවාද රැසකුත් බිහි වෙලා තියෙනවා. ඒවා අතර ඉදිරියෙන්ම තියෙන තැනක් තමයි බහමාස් දූපත් අසල මුහුද යට තිබෙන බිමිනි මාවත කියලා හඳුන්වන ප්‍රදේශය 800mට වැඩි දුරකට විහිදී තිබෙන මෙහි වැලිගල් නිර්මාණ රාශියක් දකින්න ලැබෙනවා. සමහරු එය ස්වාභාවිකව නිර්මාණය වූ එකක් කියලා සැලකුවත් වැලිගල් නිර්මාණ වල තිබෙන ඇතැම් සලකුණු ඇති වීම තරමක ප්‍රහේලිකාවක්. මේ නිසා බිමිනි මාවත අතීත ඇට්ලෑන්ඩ්ස් නගරයට යන මාර්ගයක් වූ බවට බොහෝ දෙනා විශ්වාස කරනවා.

10. ජපානයේ සන්කින් ටෝ නගරය.

            මීට වසර දහස් ගණනකට පෙර මුහුදු වෙරළේ තිබුණු සන්කින් ටෝ නමැති වරාය නගරයක් භූමිකම්පාවකින් මුහුදුබත් වූ බව ජපාන ජනප්‍රවාද වල දැක්වෙනවා. එයට අතීතයේ වැඩි අවධානයක් යොමු නොවුණත් ජපාන මුහුදේ තිබුණු යෝනගුණි කියලා හැඳින්වෙන නිර්මාණ සොයා ගැනීමත් එක්ක මේ ජනප්‍රවාදය ගැන ආයෙමත් සොයා බලන්න ගත්තා. යෝනමුණි කියලා හැඳින්වෙන්නේ මීටර් 25ක් තරම් විශාල පිරමීඩයක හැඩයක් ගන්නා ගල් නිර්මාණයක් සමහරු මෙය ස්වාභාවිකව නිර්මාණය වූ එකක් කියලා සැලකුවත් එහි මිනිස් මුහුණු, පඩිපෙල් ඇතුළු විවිධ දේ කැටයම් කරලා තිබෙනවා වගේ පෙනෙන ස්ථාන රාශියක් තිබෙනවා. ඒ පිරමීඩය අවට තිබෙන ගල්කුළුවලත් මිනිසුන් විසින් සකස් කරපු බවක් පෙනෙන හැඩතල දකින්න ලැබෙනවා. මේ නිසා එය අතීත ජනප්‍රවාද වල එන සන්කින් ටෝ නගරය බව සමහරුන්ගේ විශ්වාසයයි.

Post a Comment

0 Comments